බුදුපුදට ඇයි මේ වෛවාරණ විච්චූරණ?
වත්මන් සමාජය නැටුම්, ගැයුම්, වාදනයන් ද මිල මුදල් අබරණ ද ආහාර පාන ද යොදා ගන්නේ ම කාම සන්තර්පණය උදෙසා ය. එනිසාවෙන් ම දෝ තැන නො තැන හෝ පාදක කාරණය නො සලකමින් ඇතැමුන් සිතන්නේ නැටුම්, ගැයුම්, වාදන ආදියෙන් කළ හැකි එකම දෙය කාමය ඉස්මතු කරවීම කියා ය. ගින්දර ගැන අපි දන්නෙමු. ඒ ගැන මැනැවින් නො දන්නා අය ගින්දරට පැන පිච්චී විනාශ වී යති. ගින්දර ගැන මැනැවින් දන්නා අය විනාශ නො වී එයින් ප‍්‍රයෝජන ගනිති; ආහාර පිසිති; ශීතල මොහොතට උණුසුම උපදවා ගනිති; උවමනා මොහොතට උවමනා අයුරට ගින්දර භාවිත කරති. භාග්‍යවතුන් වහන්සේ කාමයන් පෙන්වා දුන්නේ ද ගින්නක් ලෙසට ය. ඒ ගැන අවබෝධයට පත්වන ආර්ය ශ‍්‍රාවකයා ගින්නෙන් අනතුරක් විය හැකි බව මැනැවින් දන්නේ, අනතුරට ලක් නො වී එය තම ප‍්‍රයෝජනයට යොදා ගනී. බුදු පුදට වෛවාරණ විච්චූරණ එක් කෙරෙන්නේ ද ඒ අයුරින් ම ය. මුළු මහත් ලෝකය ම හීන වූ, ග‍්‍රාම්‍ය වූ කාමාශාවන් තෘප්තිමත් කරවන්නට යොදා ගන්නා දෙය, විරාගී හද මඬලක් දරා වැඩ සිටිනා නිකෙලෙස් මුනිවරයෙකු පුද දෙන්නට සුභාවිත කිරීම පහසු කටයුත්තක් නො වන්නේ ය. එවැන්නක් සිදු කරන්නේ නම් එහි යෙදෙන්නවුන්ට සැලසෙන්නේ සුළුපටු ලාභයක් ද නො වේ. ථේරාපදානය පු...