බුදුපුදට ඇයි මේ වෛවාරණ විච්චූරණ?
වත්මන් සමාජය නැටුම්, ගැයුම්, වාදනයන් ද මිල මුදල් අබරණ ද ආහාර පාන ද යොදා ගන්නේ ම කාම සන්තර්පණය උදෙසා ය. එනිසාවෙන් ම දෝ තැන නො තැන හෝ පාදක කාරණය නො සලකමින් ඇතැමුන් සිතන්නේ නැටුම්, ගැයුම්, වාදන ආදියෙන් කළ හැකි එකම දෙය කාමය ඉස්මතු කරවීම කියා ය.
ගින්දර ගැන අපි දන්නෙමු. ඒ ගැන මැනැවින් නො දන්නා අය ගින්දරට පැන පිච්චී විනාශ වී යති. ගින්දර ගැන මැනැවින් දන්නා අය විනාශ නො වී එයින් ප‍්‍රයෝජන ගනිති; ආහාර පිසිති; ශීතල මොහොතට උණුසුම උපදවා ගනිති; උවමනා මොහොතට උවමනා අයුරට ගින්දර භාවිත කරති. භාග්‍යවතුන් වහන්සේ කාමයන් පෙන්වා දුන්නේ ද ගින්නක් ලෙසට ය. ඒ ගැන අවබෝධයට පත්වන ආර්ය ශ‍්‍රාවකයා ගින්නෙන් අනතුරක් විය හැකි බව මැනැවින් දන්නේ, අනතුරට ලක් නො වී එය තම ප‍්‍රයෝජනයට යොදා ගනී. බුදු පුදට වෛවාරණ විච්චූරණ එක් කෙරෙන්නේ ද ඒ අයුරින් ම ය.
මුළු මහත් ලෝකය ම හීන වූ, ග‍්‍රාම්‍ය වූ කාමාශාවන් තෘප්තිමත් කරවන්නට යොදා ගන්නා දෙය, විරාගී හද මඬලක් දරා වැඩ සිටිනා නිකෙලෙස් මුනිවරයෙකු පුද දෙන්නට සුභාවිත කිරීම පහසු කටයුත්තක් නො වන්නේ ය. එවැන්නක් සිදු කරන්නේ නම් එහි යෙදෙන්නවුන්ට සැලසෙන්නේ සුළුපටු ලාභයක් ද නො වේ. ථේරාපදානය පුරාවට හෙළි කෙරෙන්නේ එකී සත්‍යයයි.
ඓතිහාසික සෙංකඩගලපුර ශ්‍රී වාම දළදා වහන්සේ උදෙසා ධජ පතාක නැටුම්, ගැයුම්, වැයුම් මධ්‍යයේ මහා හස්තිරාජයන් පිරිවරා දින ගණනාවක් මුළුල්ලේ පුද සත්කාර පැවැත්වෙන්නේ ද දිවයිනේ දස දෙස බුද්ධ පූජා ම ය පෙරහැර පැවැත්වෙන්නේ ද මේ පුණ්‍ය ක්ෂේත‍්‍රය අර්ථ ගන්වමින් නො වේ ද?
එවන් මහා පූජාවන් දැක මුදල් නාස්තියකැයි කියා හෝ එවැන්නක් අනුචිත යැයි කියා හෝ යමෙකු අපහදින්නේ නම් එය ද සුළුපටු අලාභයක් නම් නො වේ. භෝග සම්පත්වලින් අග‍්‍රව උසස් කුලවන්තයෙකු වන්නට පින් තිබියදීත් පෙර කලෙක බුදුරජුන් ප‍්‍රමුඛ භික්ෂූ සංඝයාට සිදු කළ මහා පූජාවක් දැක අපැහැදී පරුෂ වචන පැවසීමේ පාපය නිසා උපන් හැටියේ අමු සොහොනක අතැර දැමුනෙකු ගැන කියැවෙන පස්වන කුමාර පේ‍්‍රත වස්තුව පෙන්වා දෙන්නේ එයයි. එසේ ම ස්ථූප වන්දනාවක් සිදු කරන්නට ගිය පිරිසකට බාධා පමුණුවා, කෙණෙහිලිකම් කොට ඔවුන් වළක්වා, ස්ථූප පූජාවට නින්දා කිරීමේ පාපයෙන් පේ‍්‍රතයෙකු ව උපන්නෙකු ගැන කියැවෙන දසවන ධාතුවිවණ්ණික පේ‍්‍රත වස්තුවෙන් ද එය තහවුරු කෙරේ. කණගාටුවට කරුණ නම් මෙවන් පාපයන්ගේ දුක්ඛිත වූ නිරයගාමී විපාකයන් දැන දැනත්, අදටත් බුදුරජ පහස ලද මේ ධර්මද්වීපයේ පවා ස්ථූප වන්දනාවන්, බුද්ධ වන්දනාවන් සඳහා ගරහන, නින්දා කරන, බාධා පමුණුවා, කෙණෙහිලිකම් කරන ‘බෞද්ධ’ යැයි කියාගන්නා ගිහි-පැවිදි පිරිස් අතිශය බහුල වීම ය.
ඇතැමුන් කියන්නේ මෙවන් විසිතුරු පින්කම් සිදු කරනවාට වඩා දුගීමගී යාචකයන් උදෙසා කුසට අහර ද හිසට සෙවණ ද සැපයීම වඩාත් හොඳ බව ය. දෙලොව සැපදෙන බුදුපුද පරයා බලූ-කපුටු දානය වණනා ‘සුපින්වත් බෞද්ධයන්’ ද නැතුවා නො වේ. එවැනි යහපත් ක‍්‍රියාවන්ගෙන් පින් රැස්වන බව සැබෑවකි. එහෙත් පින පමණක් සලකා බැලූව ද අග‍්‍ර වන්නේ බුදුරජුන් උදෙසා කෙරෙන පූජාවන්ගෙන් රැස්වන පින ම ය. මෙවන් අග‍්‍රතම පුණ්‍යක‍්‍රියාවන්ට ගරහා හෝ ඒවා අවඥවෙන් බැහැර කොට, එපින් ඉක්මවා යන පින් රැස් කිරීමක් නම් සිදු වන්නේ නැත. උතුම් සම්බුද්ධ පූජාවන්ගෙන් රැස්වන පින ගැන නො දන්නා සහ පින, පව ගැන අවබෝධයක් නැති නාමමාත‍්‍රික බෞද්ධයින් පිනට ගරහා මේ කරන්නේ සැපවත් දිවි පැවැත්ම අහිමි කරගැනීමක් බව දන්නේ ද නැත.
කළ යුත්තේ ධර්ම විනය නො දන්නාකම නිසා මේවා ගැන අපැහැදී අවැඩ සිදුකර ගැනීම නො ව අවබෝධයෙන් යුතු ව ඒ සියලූ ආකාරයෙන් කුසල් දහම් රැස්කර ගැනීම ය… ඒවා අනුමෝදන් වීම ය… එයින් සැපවත් වූ දිවි පෙවතක් ඇති කොටගෙන සසර දුකින් අත්මිදීම ය.
Comments
Post a Comment